Wednesday, September 24, 2014

හිමින් හිමින් ඇවිද එන්න...





අතීතයේ මතක දිගේ හිමින් හිමින් ඇවිද එන්න 
හදිස්සියක් නැතිව ඇවිත් අපේ මතක ඇහැරවන්න 
සමනල හිත දුටුව හීන ඉස්සර වාගේම දකින්න 
ඇබින්දකට ළඟ නැවතී පුරුදු ලෙසම ඉගිල යන්න 


කඳුළු අරන් ඇවිත් මගේ දෙනෙත් මතින් යලි තියන්න 
කඳුළු නැතිව මම ඉන්නේ දුක නිවෙනතුරු හඬන්න
සංසාරෙම ලඟින් ඉන්න බව හීනෙන්වත් කියන්න 
කඳුළු තියා ඔබ දුටුවම නැගෙන සිනා අරන් යන්න 

Image source :  4.bp.blogspot.com

Wednesday, September 10, 2014

ඉතින් දැන්වත් නතරවීයන්....





 
ගියපු බව ඇය දන්නේ නැතුවද
තාම මේ මල් පිපෙන්නේ
ඉතින් පරවී බිමට වැටියන්
කුමටද ඈ නැතුව මා ලඟ
දැනී ඇයගෙ සුවඳ විතරක්

ගියපු බව ඇය දන්නේ නැතුවද
තාම මේ තරු දිලෙන්නේ
ඉතින් තරු එලි නිවී පලයන්
කුමකටද ඈ නැතුව මා ලඟ
ඇගේ දෙනෙතේ එලිය විතරක්

ගියපු බව ඇය දන්නේ නැතුවද
තාම විහඟුන් ගයන්නේ
ඉතින් විහඟුන් ගොලුව ගියදෙන්
කුමකටද ඈ නතුව මා ලඟ
ඇසී ඇයගේ වදන් විතරක්

ගියපු බව ඇය දන්නේ නැතිවද
තාම හදවත ගැහෙන්නේ
ඉතින් දැන්වත් නතරවීයන්
කුමකටද ඈ නැතුව මා ලඟ
හුස්ම වැටෙනා දිවිය විතරක්

Sunday, September 7, 2014

මතකයන් මට හමු වුනා...




බොහොම ඉස්සර හමුවෙනා විට
එකතු කරගෙන හිත්පුරා
අමතකව ඔබ මග දමා ගිය 
මතකයන් මට හමුවුනා

කවුරු හෝ ඇස ගසා සිටිතැයි
බියෙන් මෙන් මට ලංවෙලා
එදා රහසින් දෙඩූ පෙම්බස් 
තියෙ හිත යට හැන්ගිලා

නිතර මතකය අලුත් කරවන
එවන් සුන්දර බස් නිසා
කොහෙ සිටියත් තාම මගෙ හිත
ඔබට පමනක් වෙන්වෙලා

නතරවී මම බලා උන්නද
නතරවුනු තැනටම වෙලා
තෙරක් නොපෙනෙන තරම් දුරකට
දන්නෙ නෑ ඔබ ඉගිලිලා

නො එන බව යලි කොතෙක් කීවත්
නොපිලිගන්න හිත නිසා
මතක් කරමින් සොඳුරු මතකය
ඉන්නවෙයි මට දිවි තුරා...

Saturday, September 6, 2014

අපේක්ශාව....








කප්පරක් පෙම් පැතුම් තුන් හිතින් පතාගෙන
මහමෙරක් ආදරේ හදවතින් දරාගෙන
තත්පරෙන් පංගුවක් ඔබ දිහා බලාගෙන
කල්පයක් මා දකින හීන ඔබ දුටුවාද

සංසාර පුරුද්දට මම ඔබව හොයාගෙන
ආදරෙ ඇබින්දක් ලැබේයැයි හිතා ගෙන
වසන්තය අද එතැයි හෙට එතැයි බලාගෙන
ඉන්නමුත් ඉටු නොවෙන පැතුමමත් එය නොවේද

තරු රෑන පිරිවරා රෑ අහස පුරාවට
සඳක් වී ඔබ හිඳී ලං වෙන්නෙ මම කෝම
පුරුදු දුක ආයෙමත් තුන් හිතින් දරා ගෙන
කල්පයක් විඳි සිහින සුව විඳිමි හැමදාම

Tuesday, September 2, 2014

මට බයත් හිතෙනවා ...




 
මොකට දිවුරනවද ඔය තරමටම
ඉර හඳ තරු ගැන උනත්
මට බයත් හිතෙනවා වෙලාවකට
ඔය කියන විදිහට
වෙනස් උනොත් හෙම
දවසක ඔබ
ගැලවිලා වැටෙයි අහසින්
ඉර හඳ තරු ඔක්කොම
විනාශ වෙයි මුලු ලෝකෙම
ඉතින්
විනාශ වෙනව මදිවට මගේ ලෝකය
මොකට පව් පුරව ගන්නවද ඔබ
විනාශ කරල මේ මුලු ලෝකෙම
දිවුරලා ඔය තරමට
ඉර හඳ තරු ගැන

තව උපන් දිනක් ඇවිත්....



                                                                       
අතීතෙ දවසක මෙවන්

ඔබත් උන්නා මා ලඟින්
අරන් ගොන්නක් සුබ පැතුම්
සුබ උපන් දිනයක් කියන්



වෙහෙරක් තරම් මට සෙත් පතන්
සයුරක් තරම් සෙනෙහස අරන් 
ලඟ උන්නු දින ගැන සිහි කරන්
තව උපන් දිනක් ඇවිත්


දින සති ලෙසින් කල් ගත උනත්
ඔබ නොපෙනෙනා දුර ගිය නමුත්
ඔබ ගැනම යලි යලි විමසමින්
තව උපන් දිනයක් ඇවිත්

image : blogabove.com